චීනය සිය පිරිපහදු මධ්‍යස්ථාන මඟින් සිදු කරන ඉන්ධන අපනයනය සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ, ඕස්ට්‍රේලියාව ද දරුණු ද්‍රව ඉන්ධන හිඟයකට සහ මිල ඉහළ යාමක අවදානමකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘ඕස්ට්‍රේලියානු ෆයිනෑන්ෂල් රිවීව්’ පුවත්පතට අනුව, ඕස්ට්‍රේලියාව වෙත එවීමට නියමිතව තිබූ අවම වශයෙන් ඉන්ධන නෞකා (Cargoes) දෙකක සැපයුම පිළිබඳව මේ වන විට දැඩි අවිශ්චිතතාවයක් මතු වී තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා දෙකක් පිපිරීමට ලක්වීමත් සමඟ පවතින ආරක්ෂක තර්ජන හමුවේ නෞකා එම ගමන් මාර්ගය භාවිතා කිරීමෙන් වැළකී සිටීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත. මේ හේතුවෙන් චීනය වැනි ආසියානු පිරිපහදු මධ්‍යස්ථාන වෙත ලැබෙන බොරතෙල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල් සිය දේශීය අවශ්‍යතා වෙනුවෙන් පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන (Jet Fuel) තොග රඳවා ගැනීමට පෙළඹී ඇත. සමස්තයක් ලෙස ආසියානු කලාපය සිය තෙල් අවශ්‍යතාවයෙන් 90%ක් පමණ ලබා ගන්නේ මැදපෙරදිග කලාපයෙන් වීම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරයි.
ඕස්ට්‍රේලියාව ද්‍රව ඉන්ධන ශුද්ධ ආනයනකරුවෙකු වන බැවින් ආසියානු පිරිපහදු මත බෙහෙවින් යැපෙන අතර, විශේෂයෙන්ම ගුවන් යානා ඉන්ධන සම්බන්ධයෙන් පවතින අවදානම ඉහළ ගොස් ඇත. සිඩ්නි ගුවන් තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් චාල්ටන් මහතා පෙන්වා දෙන්නේ සිඩ්නි නුවර සතුව කිසිදු පිරිපහදු ධාරිතාවක් නොමැති බැවින් ඔවුන් සම්පූර්ණයෙන්ම ආනයනික ගුවන් යානා ඉන්ධන මත යැපෙන බවයි. මෙම සැපයුම් දාම බිඳ වැටීම ඉදිරි මාස කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි විද්වතුන් අනතුරු අඟවයි.














