මැදපෙරදිග කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින ඉරාන ප්‍රහාර හමුවේ පීඩාවට පත් රටවල් කළ සහය ඉල්ලීම් පිළිබඳව තම රජය දැඩිව සලකා බලමින් සිටින බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අද (08) ප්‍රකාශ කළාය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහි කිසිදු සෘජු යුද මෙහෙයුමකට හෝ ගොඩබිම් හමුදා යෙදවීමට ඕස්ට්‍රේලියාව සහභාගී නොවන බව ඇය යළිත් අවධාරණය කළාය.
එක්සත් ජනපදයේ සමීප මිතුරෙකු වුවද, ඕස්ට්‍රේලියාවේ භූමිකාව ආරක්ෂක සහ මානුෂීය සහය සඳහා පමණක් සීමා වන බව විදේශ අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. මේ අතර, පසුගිය සිකුරාදා ඉන්දීය සාගරයේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමූ ඇමරිකානු සබ්මැරීනයක ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු සිටි බව අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා තහවුරු කළ අතර, ඔවුන් එම ප්‍රහාරයට සෘජුව දායක නොවූ බව ද සඳහන් කළේය. වර්තමානයේ මැදපෙරදිග සිරවී සිටින දහස් සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් මුදාගැනීම සඳහා ගුවන් සේවා සමඟ එක්ව රජය කටයුතු කරමින් සිටී.














