ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම නිසා ඇති වී තිබෙන පීඩනය අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා (Victoria) සහ ටස්මේනියා (Tasmania) ප්‍රාන්තවල පොදු ප්‍රවාහන සේවාවන් නොමිලේ ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ලබන අඟහරුවාදා සිට මසක කාලයක් වික්ටෝරියා ප්‍රාන්තයේ දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථවල ගමන් කිරීම සඳහා මගීන්ට ගාස්තු ගෙවීමට සිදු නොවන අතර, සියලුම Myki ගමන් කාඩ්පත් පරීක්ෂා කිරීමේ ද්වාර ද විවෘතව තැබෙනු ඇත. ජීවන වියදම් බරින් පීඩිත ජනතාවට ඉන්ධන සඳහා වැයවන මුදල ඉතිරි කර ගැනීමට සහාය වීම මෙම තාවකාලික පියවරෙහි අරමුණ බව වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් (Jacinta Allan) මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර ටස්මේනියා ප්‍රාන්තයේ ද හෙට (සඳුදා) සිට ජූලි 01 වැනිදා දක්වා බස් සහ ෆෙරි යාත්‍රා සේවාවන් නොමිලේ ක්‍රියාත්මක වන බව එරට ප්‍රවාහන අමාත්‍ය කෙරී වින්සන්ට් මහතා සඳහන් කළේය. මෙම සහනය හරහා රැකියා සඳහා යන සාමාන්‍ය පුද්ගලයෙකුට සතියකට ඩොලර් 88ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇත. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය සඳහා එරට ඉන්ධන තොග ප්‍රමාණවත් වුවද, ජාත්‍යන්තර වෙළඳපොළෙන් අතිරේක තොග මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට රජයේ මූල්‍ය ඇපකර ලබාදෙන බවයි. අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත්, හැකි සෑම විටම පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
















