වසර 27ක් පුරා ඕස්ට්‍රේලියාවේ ගුවන් විදුලි ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් අතිශය ඉහළ ශ්‍රේණිගත කිරීම් දිනා සිටි ‘Kyle and Jackie O Show’ වැඩසටහන නිල වශයෙන් නතර කර තිබේ. සජීවී විකාශයක් අතරතුරදී එහි ප්‍රධාන ඉදිරිපත් කරන්නන් වන කයිල් සැන්ඩිලෑන්ඩ්ස් සහ ජැකී ඕ හෙන්ඩර්සන් අතර ඇති වූ දරුණු වාග් සංග්‍රහයක් මෙම තීරණයට හේතු වී ඇත. පසුගිය දිනෙක විකාශය වූ වැඩසටහනක් අතරතුරදී කයිල් සැන්ඩිලෑන්ඩ්ස් විසින් සිය සම-නිවේදිකාව වන ජැකී හෙන්ඩර්සන්ට එරෙහිව මිනිත්තු හතක් පුරා දැඩි විවේචනයක් එල්ල කළේ ඇය වැඩසටහනට නිසි දායකත්වයක් ලබා නොදෙන බව පවසමිනි. මිලියන සංඛ්‍යාත ශ්‍රාවකයන් පිරිසක් සජීවීව අසා සිටියදීම සිදුවූ මෙම සිදුවීමත් සමඟ ඕස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රය දැඩි කම්පනයකට පත්ව තිබේ.
අතිශය රළු සහ මතභේදාත්මක අන්තර්ගතයන් නිසා මෙම වැඩසටහන නිතරම විවේචනයට ලක් වූ අතර, ඇතැම් ක්‍රියාකාරී කණ්ඩායම් මෙය “අශීලාචාර මාධ්‍ය යුගයක අවසානය” ලෙස හඳුන්වමින් ප්‍රීතිය පළ කරති. කෙසේ වෙතත්, වසර දෙකකට පෙර වසර 10ක් සඳහා ඩොලර් මිලියන 200ක දැවැන්ත ගිවිසුමකට අත්සන් කර තිබූ මෙම වැඩසටහන මෙලෙස අතරමඟ නතර වීම එම නාලිකාවට ද මූල්‍යමය වශයෙන් විශාල බලපෑමක් එල්ල කරනු ඇත. ‘Shock jock’ නමින් හැඳින්වෙන, ශ්‍රාවකයන් කම්පනයට පත් කරවන නිවේදකයින්ගේ යුගය මින් අවසන් වන බව මාධ්‍ය විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.















