ඇමරිකාව සහ ඊශ්‍රායලය අද (28) උදෑසන ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාරයෙන් පසුව, ඔහුගේ ජීවිතය පිළිබඳව පරස්පර විරෝධී වාර්තා පළ වෙමින් පවතී. ඊශ්‍රායලයේ ‘චැනල් 12’ (Channel 12) පුවත් සේවය වාර්තා කර ඇත්තේ, 86 හැවිරිදි උත්තරීතර නායකයා මෙම ප්‍රහාරයෙන් ‘බොහෝ විට මියගොස් ඇති’ (Likely killed) බවට ඊශ්‍රායල බුද්ධි අංශ මගින් තක්සේරු කර ඇති බවයි. ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මීට දින කිහිපයකට පෙර වන අතර, ප්‍රහාරයෙන් පසුව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසා ඇත්තේ තමන් දන්නා පරිදි උත්තරීතර නායකයා තවමත් ජීවතුන් අතර සිටින බවයි. ප්‍රහාරයට පෙර ඔහුව ආරක්ෂිත රහස් ස්ථානයකට යොමු කළ බව ඉරාන රජය පවසන නමුත්, සැටලයිට් ඡායාරූප මගින් දැක්වෙන්නේ ඔහුගේ නිල නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවයි. මේ අතර, තවත් පුවත් සේවාවන් වාර්තා කරන්නේ ඔහු සුළු මොහොතකින් ජාතිය ඇමතීමට නියමිත බවයි. මෙම තත්ත්වය හමුවේ ඉරාන නායකත්වයේ අනාගතය පිළිබඳව ජාත්‍යන්තරය දැඩි අවධානයකින් පසුවන අතර, ඔහුගේ අභාවය තහවුරු වුවහොත් එය මැදපෙරදිග දේශපාලනයේ දැවැන්ත වෙනසකට මඟ පාදනු ඇත.














