බලංගොඩ, ඕපනායක පල්ලෙකන්ද විද්‍යාලයීය පරිශ්‍රය තුළ හදිසියේ හටගත් දළඹු උවදුරක් හේතුවෙන් දෙවැනි පාසල් වාරය ආරම්භ වූ අද (03) දිනයේදී පාසලේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ. පාසල් වාරය ආරම්භයත් සමඟ දරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අවස්ථාවක මෙම දළඹු ගහනය දක්නට ලැබුණු අතර, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා දෙමාපියන් සමඟ සාකච්ඡා කර තීරණ කිහිපයකට එළඹ ඇත. සෞඛ්‍ය අංශවල උපදෙස් මත සුදුසු රසායනික ද්‍රව්‍යයක් යොදා දළඹුවන් ඉවත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (මාර්තු 04) දිනයේදී පමණක් පාසලේ 6, 7, 8, 9 සහ 10 වසරවල සිසුන් සඳහා නිවාඩු ලබා දීමට විදුහල්පතිවරයා තීරණය කර ඇත. කෙසේ වෙතත්, 11 වසර ශ්‍රේණි සහ ප්‍රාථමික අංශයේ පන්ති හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව විදුහල්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ. දළඹු උවදුර සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් අනතුරුව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල කඩිනමින් විවෘත කිරීමට නියමිතය.














