කීරි සම්බා සහල් තොග සන්තකයේ තබාගෙන පාරිභෝගිකයන්ට විකිණීම ප්‍රතික්ෂේප කළ බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳසලකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (31) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. වෙළෙඳපොළ තුළ කෘතිම සහල් හිඟයක් මවාපෑමට උත්සාහ කරන වෙළෙඳුන් වැටලීමේ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීමේදී, අදාළ වෙළෙඳසල තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 5 බැගින් වූ කීරි සම්බා සහල් පැකට් 224ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 16(අ) වගන්තිය උල්ලංඝනය කරමින් භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙම වෙළෙඳසලට චෝදනා එල්ල වී ඇත.
පාරිභෝගිකයන් පීඩාවට පත් කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවා තබන සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් දැඩි කරන ලෙස එම අධිකාරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මෙවැනි වැරදි සිදුකරන වෙළෙඳුන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.













