කාන්තා ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ (Women’s Champions League) අවසන් පූර්ව වටයේ තම ස්ථානය වෙන් කරවා ගැනීමට බාසිලෝනා කාන්තා කණ්ඩායම සමත්ව ඇත්තේ දින නවයක් ඇතුළත තෙවන වරටත් රියල් මැඩ්රිඩ් කණ්ඩායම දැවැන්ත පරාජයකට පත් කරමිනි. පසුගිය බදාදා මැඩ්රිඩ්හිදී පැවති පළමු අර්ධයේ තරගයෙන් හයට දෙකක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා සිටි බාසිලෝනා ක්‍රීඩිකාවන්, මෙවර සිය Nou Camp ක්‍රීඩාංගණයේදී පැවති දෙවන තරගයේදීද ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී හයට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අනුව සමස්ත තරග ප්‍රතිඵලය දොළහට දෙකක් ලෙස සටහන් කරමින් ඔවුන් ඉතා පහසුවෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.
බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් සිය පන්සිය වන තරගයට ක්‍රීඩා කළ නායිකා ඇලෙක්සියා පුටෙල්ලාස් (Alexia Putellas) තරගයේ අටවන මිනිත්තුවේදීම පළමු ගෝලය වාර්තා කරමින් සිය විශේෂ දිනය තවත් අර්ථාන්විත කර ගත්තාය. ඉන් අනතුරුව පළමු අර්ධය අවසන් වීමට පෙර කැරොලයින් ග්‍රැහැම් හැන්සන් (Caroline Graham Hansen), අයිරින් පරේඩස් (Irene Paredes) සහ ඒවා පජෝර් (Ewa Pajor) තවත් ගෝල තුනක් ලබා ගනිමින් පළමු අර්ධය හතරට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට බාසිලෝනා කණ්ඩායමට මඟ පෙන්වූවා.
දෙවන අර්ධයේදීද සිය ආධිපත්‍යය අඛණ්ඩව පවත්වාගෙන ගිය කැරොලයින් ග්‍රැහැම් හැන්සන් ඇයගේ දෙවන ගෝලයද වාර්තා කළ අතර අනතුරුව එස්මේ බෲට්ස් (Esme Brugts) විසින් බාසිලෝනා කණ්ඩායමේ හයවන ගෝලයද වාර්තා කරමින් රියල් මැඩ්රිඩ් කණ්ඩායම දැඩි අපහසුතාවයකට පත් කරනු ලැබුවා. මෙම තරගයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට බාසිලෝනා දැල වෙත එකදු සාර්ථක එල්ලයක්වත් එල්ල කිරීමට නොහැකි වීම ඔවුන් මුහුණ දුන් අසාර්ථකත්වය මනාව පෙන්නුම් කරන්නක්.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ බාසිලෝනා කණ්ඩායම රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟ පැවති තරග විසිපහකින් තරග විසිහතරක්ම ජයග්‍රහණය කිරීමේ සුවිශේෂී වාර්තාවක්ද තමන් සතු කරගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පරාජය කළ ජර්මනියේ ප්‍රබල බේයර්න් මියුනිච් (Bayern Munich) කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.














