මැදපෙරදිග කලාපය පුරා පැතිර යන යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, ඉරාකයේ පිහිටි උපායමාර්ගිකව වැදගත් මර්මස්ථානයක් වන බස්රා (Basra) ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කරගනිමින් භයානක ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරාක ආරක්ෂක අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් අල්-ජසීරා පුවත් සේවය මෙම පුවත වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැති අතර, ගුවන් තොටුපළේ දේපළවලට හෝ පුද්ගල ජීවිතවලට සිදුවූ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. කලාපීය වශයෙන් ඉතා වැදගත් ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වන බස්රා ගුවන්තොටුපළට මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
කලාපයේ පවතින අස්ථාවර භාවය මධ්‍යයේ ඉරාකයේ සිවිල් සහ යුදමය වශයෙන් වැදගත් ස්ථාන ඉලක්ක වීම තුළින් ඉදිරි දිනවලදී මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි අනුමාන කෙරේ.














