බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුළු වී රුපියල් 20,300ක් වටිනා බයිබලයක් සොරකම් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුඳුවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සොරකම සම්බන්ධයෙන් අදාළ වෙළඳසැල් හිමිකරු විසින් ඉකුත් 4 වනදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව වූ බී වාර්තාව (B Report) අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත ඉදිරිපත් කෙරිණි.
සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය මෙහිදී මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම සොරකම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් අරඹා ඇති බව ද වාර්තා වේ.














