පසුගිය දින කිහිපය පුරා මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අද (19) උදෑසන සිට ප්‍රදේශයට තද වැසි ඇදහැලෙන අතර වෙරළාසන්න ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද පවතින බව වාර්තා වේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල, පූනොච්චිමුනෛ, නාවලඩි සහ කල්ලඩි ඇතුළු ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවීම නිසා දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මීට අමතරව ප්‍රදේශයේ ළමා උද්‍යාන සහ ක්‍රීඩා පිටි රැසක් ද මේ වන විට ජලයෙන් යටවී පවතී.
මුහුදු ප්‍රදේශ ඉතා කැලඹිලි සහිත ස්වභාවයක් ගැනීම හේතුවෙන් ධීවර කටයුතු සඳහා ද දැඩි බාධා එල්ල වී තිබේ. බොහෝ ධීවරයින් සිය යාත්‍රා වෙරළට ගොඩගසා ඇති අතර, අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වැළකී සිටින බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉදිරි පැය කිහිපය තුළ ද ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.














