අද (07) අලුයම ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරු ‘බටුවත්තේ චාමර’ ගේ බිරිඳට අයත් නිවස ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබඳව තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. අලුයම 1:25ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉලක්ක කළ නිවසට අමතරව අසල පිහිටි තවත් නිවාස දෙකකට ද වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. පොලිසිය පවසන පරිදි එම ස්ථානයෙන් වෙඩි උණ්ඩ කොපු 23ක් පමණ සොයාගෙන තිබේ.
විශේෂත්වය වන්නේ, වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම නිවස දැනට මාස දෙකක පමණ සිට රුපියල් 125,000ක මාසික කුලිය පදනම මත වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යෑමයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එහි වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු රැඳී සිට ඇති නමුත් වාසනාවකට මෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වේ. බටුවත්තේ චාමරගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය දැනට ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටියි.
මෙම නිවස මීට පෙර ද දෙවතාවක් (2025 දෙසැම්බර් 15 සහ 24 යන දිනවල) මෙලෙසම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තිබීම විශේෂත්වයකි. පාතාල කල්ලි අතර පවතින ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බවට සැක කරන ජා-ඇළ පොලිසිය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන පවත්වයි.














