ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව බී.බී.සී (BBC) පුවත් සේවය වාර්තා කරයි. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊශ්‍රායල හමුදාව විසින් ටෙහෙරානයේ පාලන තන්ත්‍රය සහ කලාපීය සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් දියත් කරන පුළුල් මෙහෙයුමක කොටසක් වශයෙනි.
ඇමෙරිකානු හමුදාවන්ගේ සහයෝගීත්වය ඇතිව ක්‍රියාත්මක වන ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර සිටින්නේ, මිනිත්තු 30ක වැනි කෙටි කාලසීමාවක් තුළ බීරූට් හි පිහිටි හිස්බුල්ලා මූලස්ථාන 10ක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි. මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය වර්ධනය කරමින් ඊශ්‍රායලය එක රැයකින් මෙම ප්‍රහාර රැල්ල දියත් කර ඇති අතර, ඉන් සිදුවූ දේපළ හානිය ද අතිමහත්ය. පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ලෙබනන සිවිල් වැසියන් දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
















