ඕස්ට්‍රේලියාවේ ජීවත්වන වැඩිම ගෞරව සම්මානලාභී හිටපු සෙබළෙකු වන බෙන් රොබට්ස්-ස්මිත් (Ben Roberts-Smith), ඇෆ්ගනිස්ථානයේදී නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ යුද අපරාධ චෝදනා පහක් යටතේ අද (07) පෙරවරුවේ සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 47 හැවිරිදි මෙම හිටපු විශේෂ බලකා සෙබළා 2009 සහ 2012 කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටියදී සිදුකළ බව කියන මෙම ඝාතන සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් දීර්ඝ විමර්ශනයක් පවත්වා ඇත.
ඔහුට එල්ල වී ඇති චෝදනා සනාථ වුවහොත් එක් චෝදනාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි බව පොලිසිය පවසයි. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් ක්‍රිසි බැරට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, අදාළ වින්දිතයන් ඝාතනය කරන අවස්ථාවේදී ඔවුන් කිසිදු සටනකට සම්බන්ධ නොවූ නිරායුධ පිරිසක් බවත්, ඔවුන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයේ පසුවෙද්දී මෙලෙස ඝාතනය කර ඇති බවත්ය. සැකකරු විසින් සෘජුවම හෝ ඔහුගේ නියෝග මත යටත් නිලධාරීන් ලවා මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලිසිය චෝදනා කරයි.
බෙන් රොබට්ස්-ස්මිත් ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී පෙන්වූ දක්ෂතා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉහළම යුද සම්මානය වන “වික්ටෝරියා ක්‍රොස්” (Victoria Cross) සම්මානයෙන් පවා පිදුම් ලැබූවෙකි. මීට පෙර මාධ්‍ය ආයතන කිහිපයකට එරෙහිව ඔහු පැවරූ අපහාස නඩුවකින් ද ඔහු පරාජයට පත්වූ අතර, එහිදී ද ඔහු යුද අපරාධවලට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් විය. මෙම අත්අඩංගුවට ගැනීම ඕස්ට්‍රේලියානු හමුදා ඉතිහාසයේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.














