බෝකුන්දර, කරදියාන ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද (අප්‍රේල් 10) දහවල් හටගත් හදිසි ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 (Bell 412) වර්ගයේ හෙලිකොප්ටරයක් යොදවා තිබේ. ගොඩබිමෙන් ගින්න පාලනය කිරීමට අමතරව ගුවන් මඟින් ජලය ප්‍රහාර එල්ල කරමින් ගින්න තවදුරටත් පැතිර යාම වැළැක්වීම මෙහි අරමුණයි.
ගින්න වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා මොරටුව මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යොමු කර ඇත. ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ බලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. ප්‍රදේශයේ ජනතාවට දුම් පීඩාවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.














