බෙල්ජියමේ බ්‍රසල්ස් (Brussels) නුවර පිහිටි ප්‍රධානතම දුම්රිය සහ මෙට්‍රෝ ස්ථානයක් වන ‘ගාරේ ඩු මිඩි’ (Gare du Midi) පර්යන්තයේ වේදිකා දෙකක තිබී සැක සහිත පාර්සල් දෙකක් හමුවීමත් සමඟ සඳුදා සවස් කාලයේදී එම ස්ථානයෙන් මගීන් වහාම ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. සවස 5:20ට පමණ අංක 18 සහ 20 යන වේදිකාවල තිබී මෙම අභිරහස් පාර්සල් හමුවූ අතර, ආරක්ෂක පියවරක් ලෙස දුම්රිය ස්ථානය මෙන්ම මෙට්‍රෝ පද්ධතිය ද වසා දැමීමට බලධාරීන් කටයුතු කළහ.
මෙම සිදුවීමත් සමඟ බ්‍රසල්ස් මිඩි හරහා ගමන් කරන සියලුම දුම්රිය ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, කාර්යබහුල වේලාවන්හිදී මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත් විය. හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය (DOVO) වහාම එම ස්ථානයට කැඳවා ඇති අතර ඔවුන් විසින් අදාළ පාර්සල් දෙක පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. බෙල්ජියම තුළ මේ වන විට පවතින්නේ “දැඩි” (Serious) මට්ටමේ ආරක්ෂක අවදානමක් බැවින් බලධාරීන් මෙම සිදුවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත.
විශේෂයෙන්ම, 2016 වසරේ බ්‍රසල්ස් නුවරට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයට වසර 10ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සව පැවැත්වීමෙන් පසුදිනම මෙම සිදුවීම වාර්තා වීම කැපී පෙනේ. එදා සිදු වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 32ක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, එතැන් පටන් බෙල්ජියම් බුද්ධි අංශ සහ පොලිසිය සිය තොරතුරු හුවමාරු කර ගැනීමේ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබේ. වර්තමානය වන විට බෙල්ජියමේ ජාතික ආරක්ෂක අංශය සහ බුද්ධි නිලධාරීන් සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර, ඕනෑම සැක සහිත තත්ත්වයක් හමුවේ ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ඔවුන් සූදානමින් සිටින බව ආරක්ෂක අංශ පවසයි.












