අඹේපුස්ස සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීමේ කටයුතු හේතුවෙන් ලබන අප්‍රේල් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා එම ප්‍රදේශයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මීට පෙර පැවති ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මාර්ගය යට අඩි 45ක පමණ කුහරයක් ඇතිවීම නිසා මෙතෙක් දුම්රිය ධාවනය වූයේ තාවකාලික පාලමක් මතින් පැයට කිලෝමීටර් 10ක වේග සීමාවකට යටත්වය.
මෙම ස්ථිර පාලම සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ අප්‍රේල් 1 සිට 4 දක්වා කාලය තුළ කොළඹ කොටුව සහ රඹුක්කන අතර ධාවනය වන දුම්රිය අංක 125 සහ 170 යන දුම්රිය දෙක අඹේපුස්ස දක්වා පමණක් සීමා කෙරේ. මීට අමතරව අප්‍රේල් 2 වැනිදා පමණක් කොළඹ කොටුව – රඹුක්කන (අංක 168) සහ රඹුක්කන – කොළඹ කොටුව (අංක 585) දුම්රියන් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මෙම කාලසීමාව තුළ එක් මාර්ගයක් පමණක් භාවිතා කිරීම නිසා කොළඹ කොටුවේ සිට රඹුක්කන, මහනුවර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා ධාවනය වන අනෙකුත් දුම්රියන් ද යම් ප්‍රමාදයකට ලක්විය හැකි බව දෙපාර්තමේන්තුව දන්වා සිටී. එබැවින් ගමනාගමන කටයුතු සැලසුම් කිරීමේදී මෙම සංශෝධනයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලා සිටියි.














