ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් නියෝජිත John Keells CG Auto (JKCG Auto) සමාගම එක්ව වාහන 10,000ක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් අද (10) සනිටුහන් කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලැබුවේ තුඩැල්ලේ පිහිටි BYD සමාගමේ විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී වන අතර John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ BYD පාරිභෝගිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
දිනකට වාහන 100ක් දක්වා බෙදාහැරීමේ ධාරිතාවක් සහිත මෙම මධ්‍යස්ථානය හරහා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට BYD සමාගම සමත්ව ඇති අතර මෙරට වාහන ආනයනය යළි ආරම්භ වීමෙන් පසු ගතවූ වසරක කාලය තුළ BYD සන්නාමය මෙරට නව වාහන ලියාපදිංචි කිරීම්වලින් සියයට 37ක පමණ වෙළෙඳපොළ කොටසක් හිමිකර ගනිමින් ප්‍රමුඛස්ථානයට පැමිණ තිබේ. විශේෂයෙන්ම ATTO 1, ATTO 3, DOLPHIN, SEAL සහ මෑතකදී හඳුන්වා දුන් SEALION 8 වැනි මාදිලි සඳහා මෙරට පාරිභෝගිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් හමුවේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විද්‍යුත් සහ දෙමුහුන් (Hybrid) වාහන වෙත යොමු වීම මෙම දැවැන්ත වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත.













