තලංගම, අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල, අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් අදාළ රථයට ගිනි තබා තිබූ බව වාර්තා වේ.
විමර්ශන අංශ සැක කරන්නේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි. ඝාතනයට ලක්වූ නීතිඥවරයා මීට පෙර කරන්දෙණිය සුද්දා වෙනුවෙන් පෙනී සිට පසුව ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ‘ලොකු පැටී’ වෙනුවෙන් පෙනී සිටීමත්, කරන්දෙණිය සුද්දාගේ රහස්‍ය තොරතුරු ලොකු පැටී වෙත ලබා දෙන්නේ යැයි ඇති වූ සැකයත් මෙම ද්විත්ව ඝාතනයට මූලික හේතුව වී ඇති බව පොලිසිය පවසයි.
මෙම මෝටර් රථයේ තිබී පෙරේදා කොට්ටාව ප්‍රදේශයේදී වැටී තිබුණු අංක තහඩුව හමුවීමත් සමඟ විමර්ශන කණ්ඩායම් රට පුරා මෙහෙයුම් දියත් කර තිබුණි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ ගාල්ල පොලිසිය එක්ව ගිනිගෙන විනාශ වූ රථය සම්බන්ධයෙන් වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ පවත්වයි.














