හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට වහාම පියවර නොගතහොත් ඇන්ටාක්ටිකාවේ සමහර ප්‍රදේශ ආපසු හැරවිය නොහැකි දරුණු පරිසර විනාශයකට මුහුණ දෙනු ඇති බව ජාත්‍යන්තර විද්‍යාඥ පිරිසක් අනතුරු අඟවති. පෘථිවියේ වේගයෙන්ම උණුසුම් වන කලාපයක් වන ඇන්ටාක්ටික් අර්ධද්වීපය ආශ්‍රිතව සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, ඉහළ විමෝචන තත්ත්වයක් යටතේ මුහුදු අයිස්, අයිස් රාක්ක සහ ග්ලැසියර වේගයෙන් දියවී යාම නිසා පෙන්ගුයින් වැනි සුවිශේෂී විශේෂ අහිමි වීමේ අවදානමක් පවතින බවයි. එක්සත් රාජධානියේ නිව්කාසල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බෙතන් ඩේවිස් පෙන්වා දෙන්නේ ඇන්ටාක්ටිකාවේ අනාගතය අද අප ගන්නා තීරණ මත රඳා පවතින බවයි.
‘ෆ්‍රොන්ටියර්ස් ඉන් එන්වයිරන්මෙන්ටල් සයන්ස්’ (Frontiers in Environmental Science) සඟරාවේ පළවූ මෙම වාර්තාව මගින් වර්ෂ 2100 දක්වා සිදුවිය හැකි වෙනස්කම් අවස්ථා තුනක් යටතේ ආකෘතිකරණය කර ඇත. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට වඩා අඩුවෙන් පවත්වාගතහොත් දරුණුතම බලපෑම් වළක්වා ගත හැකි වුවත්, වර්තමාන ගමන් පථය අනුව ගියහොත් අයිස් තට්ටු කඩා වැටීම, ද්‍රව වර්ෂාපතනය වැඩි වීම සහ සාගර තාප තරංග වැනි ආන්තික සිදුවීම් බහුල වනු ඇත. විශේෂයෙන්ම ක්‍රිල් (Krill) වැනි සතුන්ගේ ගහනය අඩු වීම නිසා පෙන්ගුයින් සහ තල්මසුන් වැනි සතුන්ට ආහාර අර්බුද මතු වී දේශීය වශයෙන් වඳවීමේ තර්ජන ඇතිවිය හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
මෙම වෙනස්කම් ඇන්ටාක්ටිකාවට පමණක් සීමා නොවී ලෝකයේ සෙසු ප්‍රදේශවල මුහුදු මට්ටම ඉහළ යාමට සහ සාගර සංසරණ රටාවන් වෙනස් වීමට සෘජුවම බලපාන බව විද්‍යාඥයෝ අවධාරණය කරති. “ඇන්ටාක්ටිකාවේ සිදුවන දේ ඇන්ටාක්ටිකාවේම පවතින්නේ නැත” යනුවෙන් පවසන මහාචාර්ය ඩේවිස්, ගෝලීය භූ දේශපාලනික සහ මෙහෙයුම් අභියෝග වළක්වා ගැනීමට නම් සෙල්සියස් අංශක 1.5 සීමාවට සමීප වීමට හදිසි ගෝලීය ක්‍රියාමාර්ග අවශ්‍ය බව පවසයි.














