කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ (CBS) අලුත්වැඩියා කරන ලද පොදු පහසුකම්වලට සංවිධානාත්මක ලෙස හානි සිදු කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. අද (10) දින එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, කාන්තා වැසිකිළි පද්ධතියේ සවිකර තිබූ ජල කරාම කිහිපයක්ම කෙටි කාලයක් තුළ ගලවා ඉවත් කර ඇති බවයි. මෙය හුදෙක් නොදැනුවත්කම නිසා සිදුවූවක් නොව, සැලසුම් සහගතව මහජන දේපළවලට හානි කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් බවට සැක පළ කරන බව ද ඔහු සඳහන් කළේය.
මෙම අලුත්වැඩියා කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස තුනක කාලය සඳහා ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බවත්, අමතර ආරක්ෂක නිලධාරීන් සහ සීසීටීවී (CCTV) කැමරා පද්ධති අලුතින් සවිකර නිරීක්ෂණ කටයුතු පුළුල් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රජය විසින් මහජන මුදල් වැය කර සිදු කරන ලද මෙම සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදෙන බවත්, සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවේචන නොතකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර, උඩරට සහ බදුල්ල දුම්රිය මාර්ගවල පවතින බාධා කිරීම් හේතුවෙන් බස් රථ සඳහා පවතින මගී ඉල්ලුම ඉහළ ගොස් ඇති නමුත්, බස් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මගී පෝලිම් කළමනාකරණය කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලධාරීන් කටයුතු කරන අතරම, පොදු දේපළ ආරක්ෂා කිරීමේ වගකීම ජනතාව සතු බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.














