2024 අගභාගයේදී දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට හඳුනාගත් BA.3.2 හෙවත් “Cicada” ලෙස නම් කර ඇති නව කොවිඩ් අනුප්‍රභේදය මේ වන විට ඇමෙරිකානු ප්‍රාන්ත 25ක් පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) තහවුරු කරයි. ඕමික්‍රොන් (Omicron) ප්‍රභේදයෙන් පැවත එන මෙම නව වෛරසය එහි ස්පයික් ප්‍රෝටීනවල විකෘතිතා 70-75ක් පමණ පෙන්නුම් කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි. 2025-2026 ශීත සෘතුවේ පැතිර ගිය අනෙකුත් ප්‍රභේදවලට වඩා මෙහි බරපතළ රෝගී තත්ත්වයක් ඇති කරන බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති බව ඔවුහු පවසති.
BA.3.2 ‘Cicada’ හි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික තෙහෙට්ටුව, ශරීරයේ වේදනාව, උගුරේ අමාරුව සහ වියළි කැස්ස හඳුනාගෙන ඇත. මීට අමතරව නාසයෙන් දියර ගැලීම හෝ නාසය අවහිර වීම සහ මෘදු උණ තත්ත්වය ද බහුලව දක්නට ලැබේ. සමහර රෝගීන් අතර හිසරදය සහ ආහාර රුචිය අඩුවීම වැනි ලක්ෂණ ද වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.
















