මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ගුවන් ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (03) විශේෂ කරුණු අනාවරණය කළේය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යුද වාතාවරණය හමුවේ මේ වන විට ගුවන් ගමන් වාර 205ක් අවලංගු වී ඇති බවයි. ඉන් ගමන් වාර 107ක් මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඒවා වන අතර 98ක් මෙරටින් පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වේ.
පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් යුරෝපය බලා පියාසර කරන ගුවන් යානා මැදපෙරදිග ගුවන් සීමාවන් මඟහරිමින් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය පියාසර කාලයට වඩා පැයක පමණ අතිරේක කාලයක් වැය වන අතර ඒ සඳහා වැය වන ඉන්ධන ප්‍රමාණය ඉහළ යාම නිසා ගුවන් යානා මඟින් ප්‍රවාහනය කරන පාර්සල් (Cargo) සීමා කිරීමට ද ගුවන් සමාගම්වලට සිදුව ඇත. අබුඩාබි, සාජා සහ ඩුබායි වැනි ගුවන් කලාප සීමිත කාලසීමාවන් සඳහා විවෘතව පැවතිය ද, ඒවා භාවිත කළ හැක්කේ විශේෂිත ගුවන් යානා සඳහා පමණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවට පත් මගීන් වෙනුවෙන් රජය සහ ගුවන් සමාගම් සහන රැසක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සති දෙකකින් දීර්ඝ කිරීමටත්, අවශ්‍ය වුවහොත් එම කාලය තවදුරටත් වැඩි කිරීමටත් තීරණය කර තිබේ. එමෙන්ම අවලංගු වූ ගුවන් ටිකට්පත් සඳහා සම්පූර්ණ මුදල ආපසු ලබා දීමේදී හෝ වෙනත් දිනක ගුවන් ගමනක් සඳහා ටිකට්පත වෙනස් කිරීමේදී කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකිරීමට ගුවන් සමාගම් එකඟ වී ඇත. විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කර ඇති බව ද මෙහිදී සඳහන් විය.
ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුම පිළිබඳව පවතින සැකය දුරු කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි දින 50ක පමණ කාලයක් සඳහා අවශ්‍ය ගුවන් යානා ඉන්ධන (Jet Fuel) තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවයි. මැදපෙරදිග තත්ත්වය සමනය වන තුරු බණ්ඩාරනායක සහ මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ සිවිල් ගුවන් සේවා කටයුතු උපරිම අයුරින් පවත්වාගෙන යාමට රජය මැදිහත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














