චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස තමන් ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට මෙරට යටත් නොකරන නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ‘ශ්‍රී ලංකා – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 65 වැනි සැමරුම’ වෙනුවෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සැමරුම් උළෙලේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය. “චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹිලා වසර 65ක් සපිරෙන මේ වෙලාවේ, ඒ වගේම ශ්‍රී ලංකා චීන රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරෙන මේ වෙලාවේ, දෙරටේ මිත්‍රත්වය දැඩි අභිමානයෙන් සමරනු ලබන මේ වෙලාවේ වචන ස්වල්පයක් ඉදිරිපත් කිරීමට ලැබීම ඉතා වැදගත් දෙයක් ලෙසයි මා සලකන්නේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික බැඳීම් මෙන්ම ආර්ථික හා දේශපාලන මිත්‍රත්වය ද ඉතා ප්‍රබල එකක්. සංස්කෘතික බැඳීම් පිළිබඳ තවත් එක් කරුණක් සඳහන් කිරීමට මා කැමතියි. චීනයේ එක්තරා පන්සලක තිබෙනවා, ශාසනාරක්ෂකයකු ලෙස අප සලකන කන්දේ දෙවියන්ගේ ප්‍රතිමාවක්. එකක් පැහැදිලි කරගත යුතුයි. බුදුදහම ලෝකයේ හැම තැනම පැළ වුණේ නැහැ. අපේ රට හැර, බුදු දහම තිරසාර ලෙස පැළ වුණානම් ඒ පැළ වුණු සෑම රටක්ම මොංගෝලියානු මිනිසුන් හෙවත් කහ මිනිසුන්ගෙන් සමන්විත රටවල්. කාම්බෝජය, මියන්මාරය ඇතුළු ථෙරවාදී හා මහායාන බෞද්ධ සම්ප්රදායයන් තිබෙන ඕනෑම රටක් ගත්තත් ඉහත කී කරුණ තහවුරු වෙනවා. මේ පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. තිස් වසරක යුද්ධයේ දී අපට විවිධ බාධක, සම්බාධක පැනවෙන විට චීනයේ මිත්‍රත්වය නොලැබුණානම් අපට අද මේ සාමකාමී වාතාවරණය භූක්ති විඳීමට හැකි වන්නේ නැහැ. ජාත්‍යන්තර ‘දඩබිම්වලදී’ ඔවුන් අපේ රට වෙනුවෙන් ඉටු කරන භූමිකාව නොවුණානම් අපට මීට වඩා බලවත් කොන්දේසිවලට යටත් වීමේ සම්භාවිතාවක් තිබුණා. අපි දන්නවා, අපේ රටේ විශාලතම විදෙස් ආයෝජනය සිදු කොට ඇත්තේ චීනය මිස වෙන රටක් නොවෙයි, කියා. ඒ කොළඹ වරාය නගරය ඉදිකිරීමට කළ ආයෝජනයයි. ඒ මහා නගරය ඉදිරියේදී අපේ රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන උල්පතක් වේවි. අද විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වෙහෙසෙන මේ රටට තිබෙන එක මාවතක් තමයි කොළඹ වරාය නගරය. විදේශ ආයෝජකයන් හා සංචාරකයන් ඒ මගින් ප්‍රබල ලෙස ආකර්ෂණය කරගත හැකි වේවි. චීනය සැමවිටම අප සමඟ ආර්ථිකමය වශයෙන් සම්බන්ධතා පැවැත්වූයේ දේශපාලන කොන්දේසි පනවමින් නොවෙයි. ‘රට සන්ධීය විය යුතුයි, සහසන්ධීය විය යුතුයි,’ කියා ඉගැන්වීමට චීනය ආවේ නැහැ. ඔවුන්ගේ සෑම සහයෝගීතාවකදීම කිසිම දේශපාලන කොන්දේසියක් ඉදිරිපත් වූයේ නැහැ .ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාවට සිටින ඉතාමත් අව්‍යාජ මිතුරා හැටියට අපි චීනය ඉතා ඉහළින් පිළිගන්නේ. දෙරට අතර මිත්‍රත්වය දිගුකල් දිනේවා’යි ප්‍රාර්ථනය කරමින් මහා නිහඩ වෙනවා.” යැයි අමාත්‍ය විමල් විරවංශ මහතා වැඩිදුරටත් පැවසිය.