බස් රථ 100ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන එකමුතුවක් අද (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පොදු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් තිලකරත්න මහතා සඳහන් කළේ, මෙම ගනුදෙනුවේදී අමතර බස් රථ හතරක් “සන්තෝසම්” ලෙස ලැබී ඇති බවට නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මෑතකදී කළ ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල ගොනු කළ බවයි. අල්ලසක් ප්‍රසිද්ධියේ හෝ රහසිගතව ලබා ගැනීම වැරදි සහගත ක්‍රියාවක් බවත්, මහජන බදු මුදලින් සිදුකරන මෙවැනි ගනුදෙනුවල විනිවිදභාවය පිළිබඳව ජනතාවට දැනගැනීමට අයිතියක් ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
මීට පෙර බස් රථ මිලදී ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදයට අනුව, සෑම බස් රථ 10කටම එක් බස් රථයක් නොමිලේ සැපයිය යුතු වුවද, මෙම බස් 100ක ගනුදෙනුවේදී බස් රථ 10ක් වෙනුවට 4ක් පමණක් ලැබුණේ මන්දැයි නුවන් තිලකරත්න මහතා ප්‍රශ්න කළේය. ඉතිරි බස් රථ 6ක වටිනාකමට සිදු වූයේ කුමක්ද යන්න සහ එම මුදල් වෙනත් ආකාරයකින් ලබාගෙන තිබේද යන්න පිළිබඳව ද ඔහු සැක පළ කළේය. මෙම කොන්දේසි ටෙන්ඩර් ලේඛනවල ඇතුළත් වී තිබුණේද යන්න සහ නිලධාරීන් සෘජුවම සැපයුම්කරුවන් සමඟ ගනුදෙනු කළේද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වා සත්‍යය රටට හෙළි කරන ලෙස එම සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.














