කෝප් සිටි (Co-op City) වෙළඳ ජාලය තවදුරටත් පුළුල් කරමින් වීරකැටිය නව සමුපකාර අලෙවි සැල ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. පාරිභෝගික ජනතාවට ගුණාත්මක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහනදායී මිලට ලබාදීමත්, දේශීය නිෂ්පාදකයා සෘජුවම ශක්තිමත් කරමින් විනිවිදභාවයකින් යුතු රාජ්‍ය වෙළඳ ක්‍රියාවලියක් සහතික කිරීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සාලිය සඳරුවන් මහතා, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් පල්ලියගුරු මහතා, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද කුලසුන්දර මහතා සහ වීරකැටිය සමුපකාර සමිතියේ සභාපති චන්ද්‍රදාස ලියනාරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ. මෙම නව අලෙවි සැල හරහා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහ සාමාන්‍ය පාරිභෝගිකයින්ට වෙළඳපල මිලට වඩා අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව උදා වේ.














