කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 762ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කාහට ලබාදීමටද සහ මෙහි පිටුපස සිටින ජාත්‍යන්තර ජාවාරම්කරුවන් කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. මෑතකාලීනව ගුවන්තොටුපොළ හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ දැඩි කර ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.














