පවතින ගෝලීය නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක සාමය බිඳී ඇති බැවින්, ඒ වෙනුවෙන් සාමූහිකව යාඥා කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ පැවති මහ සිකුරාදා (03) දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
ලෝකය පාලනය කිරීමට ඇති තනි පුද්ගල ආශාව සහ ආත්මාර්ථකාමීත්වය හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් අත්ව ඇති බව කාදිනල් හිමිපාණෝ මෙහිදී පෙන්වා දුන්හ. නායකයෙකු යනු සේවකයෙකු විය යුතු බවත්, බලය පසුපස හඹා යන පාලකයින් සේවකයන් නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
සැබෑ ක්‍රිස්තු ධර්මය යනු යාඥා කිරීම හෝ බයිබලය කියවීම පමණක් නොව, ප්‍රේමය තුළ ජීවත් වීම සහ අසල්වැසියාට සේවය කිරීම බවත් පෙන්වා දුන් උන්වහන්සේ, දුර්වල ගමන් මාර්ගවලින් බැහැරව ලෝක සාමය උදෙසා එක්වන ලෙස ලෝක නායකයන්ගෙන් වක්‍රව ඉල්ලා සිටියහ.















