කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ විශාල පිරිවැයක් සහ ශ්‍රමයක් වැය කරමින් නවීකරණය කර ජනතා අයිතියට පත් කර දින කිහිපයක් ගත වන්නටත් පෙර, ඇතැම් පුද්ගලයන් විසින් එහි දේපළ අවභාවිත කිරීම සහ අපිරිසිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මගී ජනතාවගේ ගමන් පහසුව සහ යහපත් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම නවීකරණ කටයුතු සිදු කළ ද, ඇතැම් පුද්ගලයන් වගකීම් විරහිත ලෙස කසළ බැහැර කිරීම සහ පරිශ්‍රය අපිරිසිදු කිරීම පිළිබඳව වාර්තා වී ඇත.
බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ ඇති අසුන්, තාප්ප සහ අනෙකුත් පොදු පහසුකම්වලට හානි නොකර ඒවා ආරක්ෂා කරන ලෙසත්, නම් කරන ලද කසළ බඳුන්වලට පමණක් අපද්‍රව්‍ය බැහැර කරමින් පිරිසිදුකම පවත්වා ගැනීමට සහාය වන ලෙසත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. මෙම මධ්‍යම බස් නැවතුම්පොළ අනාගත පරපුර වෙනුවෙන් සුරැකිය යුතු ජාතික සම්පතක් බව සිහිපත් කරන බලධාරීන්, එහි විනය සහ පොදු දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා සියලුම මගීන් වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරයි.













