හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් එළඹෙන අප්‍රේල් 30 වනදා දින නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (03) මෙම නඩු කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල සහ විත්තිය ඉදිරිපත් කළ වාචික කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසු විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව මෙම චෝදනා එල්ල වී තිබේ. පසුගිය යහපාලන රජය සමයේ ගොනුකරන ලද මෙම අධිචෝදනා පත්‍රවලට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ නඩු විභාගයේ තීන්දුව මෙලෙස අප්‍රේල් මස අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














