කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ලබන 13 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහ නගර සභා අයවැයේදී පක්ෂ තීරණයට පටහැනිව ආණ්ඩු පක්ෂයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත. 2025 දෙසැම්බර් 31 වැනිදා ඉදිරිපත් කළ අයවැය තුළ මහජන හිතවාදී සාධනීය යෝජනා රැසක් තිබූ බැවින් තමන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් ඇය පෙන්වා දෙයි. රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් අදාළ තීරණය බල රහිත කරන ලෙසත් නඩු විභාගය අවසන් වනතුරු අඛණ්ඩව මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට අවසර දෙන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.














