කොළඹ වරායේ පවතින තදබදය අවම කරමින් අපනයන සහ ආනයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කන්ටේනර් ප්‍රවාහන රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මෙම පියවර හරහා ආනයනික භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීම කඩිනම් කිරීමටත්, නියමිත වේලාවට අපනයන කන්ටේනර් වරායට ගෙන ඒම තහවුරු කිරීමටත් රජය අපේක්ෂා කරයි.
මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කන්ටේනර් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ වාහනවල QR කේත ඇතුළු සියලුම තොරතුරු ලබාදෙන ලෙසයි. ඒ අනුව කන්ටේනර් රථ 1,325කට අදාළ දත්ත අද (20) අමාත්‍යාංශය වෙත භාර දී තිබේ. දැනට පවතින ඉන්ධන කෝටාව ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවට රියදුරන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා, එම ප්‍රමාණය ඉහළ නැංවීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දීමට ද අමාත්‍යවරයා පොරොන්දු විය.














