කොලොන්නාව සිංහපුරය යනු දශක කිහිපයකට පෙර කොළඹ පාතාලයේ තීරණාත්මක මධ්‍යස්ථානයකි. බලය, පාවාදීම සහ මරණය හඹා ගිය එම ලේවැකි ගමන්මග අවසන් වූයේ දරුණු ඝාතන මාලාවකිනි. 90 දශකයේ මැද භාගය වන විට කොළඹ පාතාලයේ ප්‍රබලම චරිතයක් වූයේ චින්තක අමරසිංහයි. ඔහුගේ සමීපතම සගයන් වූයේ සුදු හකුරුදේවගේ අජිත් ධම්මික නොහොත් ‘කළු අජිත්’ සහ ජනක ප්‍රියංකර ජයමාන්න නොහොත් ‘සිංහපුර සුදු මහත්තයා’ ය. එහෙත් බලයට ඇති දැඩි කෑදරකම හමුවේ මිත්‍රත්වය කෙමෙන් දියවී ගියේය.
තමාට ඉහළින් කිසිවෙකු නොසිටිය යුතු බව තීරණය කළ කළු අජිත්, 1996 ජනවාරි 29 වන දින තම සමීපතම මිතුරා වූ චින්තක අමරසිංහ වෙඩි තබා ඝාතනය කළේය. එම ඝාතනයත් සමඟ කළු අජිත් කොළඹ පාතාලයේ කිරුළු නොපළන් රජු බවට පත් වූයේ සිංහපුරය සිය බලකොටුව කරගනිමිනි. කළු අජිත්ගේ ආධිපත්‍යය පැවතියේ වසරකටත් අඩු කාලයකි. 1997 මැයි මස 20 වන දින එවකට පාතාලයේ තවත් ප්‍රබලයෙකු වූ නාවල නිහාල්ගේ කල්ලිය විසින් කළු අජිත් ඇතුළු පිරිස පැහැර ගන්නා ලදී. පසුව ඔවුන් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබියදී හමු විය.
කළු අජිත්ගේ ඇවෑමෙන් සිංහපුරයේ බලය තහවුරු කරගත්තේ සුදු මහත්තයාය. ඔහු සහ ‘සිංහපුර චූටි පුතා’ දැඩි මිතුරන් ලෙස ප්‍රකටව සිටියද, යළිත් බල අරගලය කරළියට පැමිණියේය. කොලොන්නාවේ තනි බලය තමන් සතු කරගැනීමේ අරමුණින් චූටි පුතා, මාලිගාවත්තේ කුඩු ලාල් සහ කීඹුලාඇළ ගුණා සමඟ රහසිගත සන්ධානයක් ගොඩනගා ගත්තේය. 2000 වර්ෂයේ ජූනි මස 11 වන දින, විශේෂ පොලිස් කණ්ඩායමක වේශයෙන් පැමිණි සන්නද්ධ පිරිසක් සුදු මහත්තයාගේ නිවස වට කළහ. නිවසේ ගිනි අවි ඇති බව පවසමින් සෝදිසි කිරීම් සිදු කරන මුවාවෙන් නිවසට ඇතුළු වූ ඔවුහු, සිංහපුර සුදු මහත්තයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළහ.
සුදු මහත්තයාගෙන් පසු සිංහපුරයේ අණසක පැතිරවූයේ චූටි පුතාය. එහෙත් දශකයකට පසු, එනම් 2010 වසරේදී ඔහුට ද සිය ඉරණමට මුහුණ දීමට සිදු විය. සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් ඔහු පැහැරගෙන යනු ලැබූ අතර, එතැන් සිට අද දක්වාම සිංහපුර චූටි පුතාට සිදු වූ දෙයක් පිළිබඳව කිසිදු තොරතුරක් නැත. මෙලෙස කොලොන්නාව සිංහපුරය කේන්ද්‍ර කරගනිමින් බිහිවූ ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් සියල්ලෝම අවසානයේ පාවාදීම් සහ වෙඩි උණ්ඩ හමුවේ නිහඬ වූහ.














