ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කරන ව්‍යාපෘති නිසි පරිදි අධීක්ෂණය කිරීමට වගකිවයුතු නිලධාරියෙකු නොමැති වීම හේතුවෙන් එම ව්‍යාපෘති අසාර්ථක වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය. වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පාර්ලිමේන්තුවේදී රැස් වූ කෝප් කමිටුවේදී, 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී ව්‍යාපෘති නිම කිරීමට නියමිත කාලයට වඩා දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ගත වීම පිළිබඳව කමිටු සභාපතිවරයා සිය දැඩි අසතුට පළ කළේය.
මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය දක්වා ගුණාත්මකභාවය සහ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදුලාල් බෝගහවත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශයේ පවතින පුරප්පාඩු 19ක් හේතුවෙන් මූල්‍ය විනය පිරිහී ඇති බව පෙන්වා දුන් කමිටුව, එම පුරප්පාඩු වහාම සම්පූර්ණ කර විගණන අංශය ශක්තිමත් කරන ලෙස නියෝග කළේය. එමෙන්ම ආයතනයේ විනය පරීක්ෂණ නිසි වේලාවට සිදු නොකිරීම පිළිබඳව ද කෝප් කමිටුව බලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.














