හිටපු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 27 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද නියෝග කෙරුණි.
විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ 2020 අගෝස්තු සිට 2024 ජුනි දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමිනි. විත්තිය වෙනුවෙන් නීතිඥ කාංචන රත්වත්තේ මහතා පෙනී සිටි අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම තීරණයට එළඹුණි.













