මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත යොමු කර ඇත.
අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකරන මෙම විමර්ශනය තුළින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, එමඟින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දැක්වූ අතර, මෙම විමර්ශනය ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි. කරුණු සලකා බැලූ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට නියෝග කළ අතර නඩුකරය යළි මැයි මස 15 වනදා කැඳවීමට නියම කරන ලදී.














