අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර තිබූ නිවසක් විකිණීමේ දැන්වීමකට අනුව එම නිවස ලබාගන්නා බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය. කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අදාළව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියා අධිකරණයට ප්‍රකාශ කළේ අන්තර්ජාලය මඟින් විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ ඉඩමක් ලබාගන්නා බව පවසා ඉඩම් හිමිකරුගේ බැංකු ගිණුම් අංකය ලබාගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද විමර්ශන නිලධාරියා මෙහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් සහතික විය.














