ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (Fuel QR) ආශ්‍රිතව පැවති තාක්ෂණික සහ ලියාපදිංචි වීමේ ගැටලු රැසක් මේ වන විට සාර්ථකව විසඳා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා නිවේදනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සුදුසුකම් ලැබූ පරිශීලකයන්ගෙන් බහුතරයක් සිය QR කේත ලබාගෙන ඇති බවත්, සමස්තයක් ලෙස ලක්ෂ 4කට අධික පිරිසක් පද්ධතියට එක්වී ඇති බවත්ය.
පද්ධතියේ පවතින සජීවී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පැයකට නව ලියාපදිංචි කිරීම් 30,000ක් පමණ සැකසෙමින් පවතින බවයි. අධික තදබදය හේතුවෙන් ඇතැම් අවස්ථාවල පද්ධතියේ සුළු ප්‍රමාදයන් ඇති වුවද, එය මේ වන විට පූර්ණ ලෙස ක්‍රියාත්මක වේ. පද්ධතියේ නිරවද්‍යතාව වැඩිකිරීම සඳහා වැරදි දත්ත හෝ ද්විත්ව ලියාපදිංචි කිරීම් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත. එළඹෙන සති අන්තය වන විට වත්මන් කෝටා චක්‍රය අවසන් වන බැවින්, මෙතෙක් ලියාපදිංචි නොවූ පිරිස් වෙතොත් වහාම ලියාපදිංචි වන ලෙස ඔහු ඉල්ලා සිටියි.
වාහන හිමිකාරිත්වය නිසි පරිදි නීත්‍යානුකූලව පවරා නොගත් වාහන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට විසඳුම් ලෙස නව සහන සේවාවක් හඳුන්වා දීමට ද සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව සෑම පළාතක් සඳහාම වෙන්වූ විශේෂ දුරකථන අංක 9ක් හඳුන්වා දෙනු ලැබේ. ලියාපදිංචි වීමේ ගැටලු පවතින පුද්ගලයින්ට වට්ස්ඇප් (WhatsApp) හරහා සිය තොරතුරු සහ අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛන යොමු කළ හැකි අතර, නිලධාරීන් විසින් එම දත්ත පරීක්ෂා කර QR කේතය නිකුත් කිරීමට සහාය වනු ඇත.














