දශකයකට වැඩි කාලයකට පසු කියුබානු රජය සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වී ඇති බව කියුබානු ජනාධිපතිවරයා තහවුරු කර තිබේ. කියුබාව මේ වන විට මුහුණ දී සිටින දැඩි බලශක්ති අර්බුදය සහ රට පුරා සිදුවන විදුලි බිඳවැටීම් හමුවේ වෙනත් විකල්පයක් නොමැති වීම මෙම සාකච්ඡාවලට මුල පුරා ඇත. පසුගිය මාස තුනක කාලය තුළ කියුබාවට කිසිදු ඉන්ධන නැව්ගත කිරීමක් ලැබී නොමැති අතර, ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයක් ඩොලර් 110 දක්වා ඉහළ යාම තත්ත්වය තවත් දරුණු කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ කියුබානු පාලනය ඉක්මනින්ම බිඳ වැටෙනු ඇති බවයි. අවශ්‍ය වුවහොත් කියුබාව “මිත‍්‍රශීලී ලෙස අත්පත් කර ගැනීමට” (Friendly takeover) තමන් සූදානම් බව පැවසූ ඔහු, කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට එරෙහිව දැඩි වෙළඳ බදු පනවන බවට ද අනතුරු ඇඟවීය. මේ අතර, රුසියාව ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු සම්බාධක හමුවේ අසරණ වී සිටින කියුබාවට ඉන්ධන ආධාර ලබා දීමට තමන් සලකා බලමින් සිටින බවයි. රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් අවධාරණය කළේ ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.
කියුබානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ රටේ ස්වෛරීභාවය පාවා නොදී මෙම අර්බුදයට විසඳුම් සෙවීමට තමන් උත්සාහ කරන බවයි. එරට රෝහල්වල අත්‍යවශ්‍ය සැත්කම් පවා කරගත නොහැකි මට්ටමට බලශක්ති අර්බුදය උග්‍ර වී ඇති බැවින්, වොෂින්ටනය සමඟ කෙරෙන මෙම සාකච්ඡා කියුබාවේ අනාගතය තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.














