දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (07) උදෑසන ක්‍රියාත්මක කළ පැය දෙකක විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් 80 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. දඹුල්ල සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ මධ්‍යස්ථානය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහාය. අත්අඩංගුවට ගත් පිරිස අතර ගංජා සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් ද සිටින බව පොලිසිය තහවුරු කරයි.
පසුගිය කාලසීමාව පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන්ගේ නිෂ්පාදන සොරකම් කිරීම, රථවාහනවල අමතර කොටස් ගලවාගෙන යාම සහ විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි රැසක් වාර්තා වී තිබුණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙළෙඳුන්ගේ සහ ගොවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














