Discovery නාලිකාවේ සුප්‍රසිද්ධ ‘Deadliest Catch’ වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් 25 හැවිරිදි ටොඩ් මෙඩෝස් (Todd Meadows) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඔහු ‘Aleutian Lady’ නෞකාවේ සේවය කළ දක්ෂ තරුණ ධීවරයෙකි.
නෞකාවේ කපිතාන් රික් ෂෙල්ෆර්ඩ් (Rick Shelford) විසින් ඊයේ (මාර්තු 02) ෆේස්බුක් සටහනක් තබමින් මෙම ශෝකජනක පුවත තහවුරු කළේය. ඔහුට අනුව ටොඩ් මෙඩෝස් මියගොස් ඇත්තේ පසුගිය පෙබරවාරි 25 වනදාය. කපිතාන්වරයා මෙය හඳුන්වා දුන්නේ බෙරින් මුහුදේ (Bering Sea) ‘Aleutian Lady’ නෞකාව මුහුණ දුන් අතිශය ශෝකජනක දිනය ලෙසයි.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත්, ටොඩ් මෙඩෝස් නැව් කණ්ඩායමේ නවතම සාමාජිකයා වුවද ඉතා කෙටි කලකින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු බඳු වූ දක්ෂ “සහෝදරයෙකු” වූ බව කපිතාන්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ටොඩ් මෙඩෝස්ගේ හදිසි වියෝව පිළිබඳව Discovery නාලිකාව ද සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර මෙය ඉතාමත් ඛේදනීය අහිමි වීමක් බව ඔවුන් ප්‍රකාශ කර ඇත.














