ලොව පුරා ප්‍රසිද්ධියට පත් චීනයේ DeepSeek කෘත්‍රිම බුද්ධි (AI) සේවාව, එහි ආරම්භයෙන් පසු සිදුවූ විශාලතම බිඳ වැටීමට මුහුණ දී තිබේ. චීනයේ වේලාවෙන් ඊයේ (ඉරිදා) රාත්‍රියේ සිට අද (සඳුදා) පෙරවරුව දක්වා පැය හතකට අධික කාලයක් මෙම බිඳ වැටීම පැවති අතර, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමාගමට කිහිප වරක්ම මෘදුකාංග යාවත්කාලීන කිරීම් (Updates) සිදු කිරීමට සිදුවූ බව වාර්තා වේ. Downdetector වෙබ් අඩවියට අනුව ඉරිදා රාත්‍රී 9:35 ට පමණ පරිශීලකයින් මුලින්ම ගැටලු වාර්තා කර ඇති අතර, අද පෙරවරු 10:33 වන තෙක්ම එම සේවාවන්හි ක්‍රියාකාරීත්වය අඩාල වී තිබුණි.
2025 ජනවාරි මාසයේදී DeepSeek R1 නිකුත් කිරීමෙන් පසුව සියයට 99ක ක්‍රියාකාරීත්ව වාර්තාවක් පවත්වාගෙන ගිය මෙම සේවාව මෙලෙස දීර්ඝ කාලයක් අක්‍රිය වීම අසාමාන්‍ය තත්ත්වයක් බව තාක්ෂණික අංශ පෙන්වා දෙයි. මෙම බිඳ වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව විමසූ විද්‍යුත් තැපැල් පණිවිඩවලට DeepSeek සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවල සඳහන් වේ. ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිතා කරන මෙම AI සේවාව අඩාල වීම නිසා බොහෝ ක්ෂේත්‍රවල කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.














