මිනුවන්ගොඩ මූලික රෝහලේ සිට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවීමෙන් පසු 22 හැවිරිදි තරුණියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් රෝහල් බලධාරීන්ට දැඩි චෝදනා එල්ල කරති. මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය පසුගිය පෙබරවාරි 18 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දින හතරක් ප්‍රතිකාර ලබා තිබේ.
ඇයගේ දෙමාපියන් පවසන්නේ පෙබරවාරි 22 වනදා අලුයම 1.00 ට පමණ ඇයගේ තත්ත්වය බරපතළ වීම නිසා ගම්පහ රෝහලට මාරු කර යැවූ බවත්, එහි ඇතුළත් කර විනාඩි 20ක් වැනි කෙටි කාලයකදී ඇය මියගිය බවත්ය. මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම සහ ඔවුන්ගේ නොසලකා හැරීම මෙම මරණයට හේතු වූ බවට ඇයගේ සැමියා සහ දෙමාපියන් චෝදනා කරති.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ඩෙංගු උණ වැළඳීම බවට තහවුරු වී ඇති අතර, දින හතරක් රෝහලේ ප්‍රතිකාර ලැබුවද ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය අපොහොසත් වූ බව ඥාතීහු පෙන්වා දෙති. මියගිය තරුණියගේ අවසන් කටයුතු හෙට (25) ජාපාලවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.














