දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මේ වන විට රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් පස් දෙනෙකුම පාසල් සිසුන් වන බවයි.
මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ලබන ජූනි 15 වැනිදා සිට 20 වැනිදා දක්වා විශේෂ “ඩෙංගු මර්දන සතියක්” ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඇති පොදු ස්ථාන, රාජ්‍ය ආයතන සහ විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන ආවරණය වන පරිදි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ විශේෂ ශ්‍රමදාන සහ පරීක්ෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















