මාතර, දෙනිපිටිය මංසන්ධිය අසල අභිනවයෙන් ඉදි කළ පාලම අසල අද දක්නට ලැබෙන්නේ සරුවට වැඩුණු තරුණ නුග ගසකි. මෙය මීට වසර සියයකට පමණ පෙර පොල්වතු ගඟ හරහා වැටී තිබුණු, ජනප්‍රවාදගත “දෙනිපිටිය නුගරුක” සිහිපත් කරවන්නකි. එදා පටු ගඟක් වූ පොල්වතු ගඟ තරණය කිරීමට ඒදණ්ඩක් ලෙස භාවිත වූයේ ගං ඉවුරේ සිට එගොඩට නැමුණු දැවැන්ත නුග අත්තකි.
එම ඓතිහාසික නුග රුකේ සෙවණේ විවේක ගත් සුවහසක් පිරිස අතර ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා ද විය. තමන්ට සෙවණ දුන් ඒ මහා වෘක්ෂය වර්ණනා කරමින් ඇය එදා කළ හිටිවනම කවි ගායනය අදටත් සාහිත්‍ය ලෝකයේ නොමැකෙන මතකයකි. දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා ලෙස බෞතීස්මය ලබා සිටි ඇය, කරතොට ධර්මාරාම පණ්ඩිත නාහිමිපාණන් වෙතින් ශාස්ත්‍රය හදාරා හිටිවනම කවි ගෙතීමේ නිසග දක්ෂතාවයකින් හෙබි තැනැත්තියක වූවාය.
තම සැමියා වූ ඇලපාත මුදලිගේ මරණයෙන් පසු අන්ත අසරණ වූ ගජමන් නෝනා, එවකට දකුණු දිසාව භාර රජයේ ඒජන්තවරයා වූ ජෝන් ඩොයිලි මැතිතුමා වෙත තම දුක් ගැනවිල්ල පැදි පෙළකින් ඉදිරිපත් කළාය. ඇගේ කවිත්වයට සහ අසරණභාවයට සංවේදී වූ ඩොයිලි මැතිතුමා ඇයට නින්දගමක් තෑගි කළ අතර, අද “නෝනගම” ලෙස හඳුන්වන්නේ එම ප්‍රදේශයයි. නෝනගම මංසන්ධියේ මෙන්ම දෙනිපිටිය පාලම අසල ද අද ඇගේ පිළිරූ ස්ථාපිත කර ඇත්තේ එම ඓතිහාසික සබඳතාවය ගෞරවයෙන් සිහිපත් කරමිනි.














