පාඩම් නොකර ජංගම දුරකථනයෙන් ටික්ටොක් (TikTok) බලමින් සිටි බව පවසමින් සිය 13 හැවිරිදි බාලවයස්කාර පුත්‍රයාගේ තට්ටම් ප්‍රදේශය රත් කළ යකඩ කූරකින් පුළුස්සා තුවාල සිදු කළ පියෙකු දෙණියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලී වැඩට ගොස් සිටි පියාට සිය ජංගම දුරකථනය නිවසේ අමතක වී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දරුවන් එය ගෙන ටික්ටොක් වීඩියෝ නරඹා ඇත. පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියා දරුවන්ට පාඩම් කරන ලෙස පවසා රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට ගොස් තිබෙනවා. මඳ වේලාවකින් දරුවන් පාඩම් කරන්නේදැයි සොයා බැලීමට ගිය අවස්ථාවේදී ඔවුන් නැවතත් දුරකථනයෙන් ටික්ටොක් නරඹමින් සිටිනු දැක උරණ වූ පියා, ලිපේ රත් වෙමින් තිබූ යකඩ කූරක් ගෙන දරුවාගේ පිටුපස ප්‍රදේශය මෙලෙස පුළුස්සා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පාසල් ගිය මෙම සිසුවා පිළිබඳව තොරතුරු දැනගත් විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වී ඔහුව දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුවා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පවුලේ තත්ත්වය සොයා බැලීමට නිවසට ගිය දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතාට දක්නට ලැබී ඇත්තේ එම නිවසේ ආහාරයට ගැනීමට කිසිවක් නොමැති තරම් අන්ත අසරණ තත්ත්වයක ඔවුන් පසුවන බවයි. දරුවන්ගේ සහ බිරිඳගේ අසනීප තත්ත්වය දුටු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තමන් සතුව තිබූ මුදල් එකතු කර එම පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙනවිත් දීමට කටයුතු කිරීමද විශේෂත්වයක්.














