මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දී ඇත.
‘DFCC Auto Loan’ යටතේ දීර්ඝකාලීන ආපසු ගෙවීම් සැලසුම් යටතේ රු. මිලියන 10 ක් දක්වා ණය පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබේ. මෙම පහසුකම, ණය ගැනුම්කරුවන්ට අවශේෂ වටිනාකමක් (Residual value) ද සහිතව විධිමත් ආපසු ගෙවීමේ සැලැස්මක් ඔස්සේ තමන්ට කැමති වාහනය මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙයි. ණය කාලසීමාව අවසානයේදී අවශේෂ වටිනාකම ගෙවා අවසන් කිරීම වෙනුවට එය තවත් වසර කිහිපයක් දීර්ඝ කරගැනීමේ හැකියාවද පවතින අතර, සමස්ත ණය ආපසු ගෙවීමේ කාලය වසර 8 ක උපරිමයක් දක්වා දීර්ඝ කරගත හැකි වේ. මෙහිදී ණය ගැනුම්කරුට අවශ්‍ය නම් ණය කාලය අවසානයේ වාහනය අලෙවි කර අවශේෂ වටිනාකම පියවා, අලුත් වාහනයක් මිලදී ගැනීම සඳහා අලුතෙන් ණයක් ලබාගත හැක. අවම අවදානමක් සහ දීර්ඝ ණය කාලසීමාවක් සමගින් සහනදායී මාසික වාරික යටතේ වාහනයක් හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම ‘DFCC Auto Loan’ හි මූලික අරමුණයි.
සියලුම කාර්, වෑන්, SUV, සහ ඩබල් කැබ් රථ සඳහා ‘DFCC Auto Loan’ ණය පහසුකම භාවිතා කළ හැකි වේ.
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ වර්ධනයට දායක වීම සඳහා, ජනතාවට වඩාත් පහසුවෙන් රථවාහන මිලදී ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව DFCC බැංකුව විශ්වාස කරයි. COVID-19 හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනයට බාධා එල්ල වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනතාවට සහන සලසමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදීමක් වශයෙන් ‘DFCC Auto Loan’ සේවාව හඳුන්වා දීමට DFCC බැංකුව කටයුතු කළේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “පෙර නොවූ තරම් සහනදායී ලෙස වාහන මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් රටේ රථවාහන වෙළඳපොළ නැවත ශක්තිමත් කිරීමටත්, එය සැබෑ වෙනසකට ලක්කිරීමටත් ‘DFCC Auto Loan’ පහසුකමට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා. මේ ආකාරයට රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින්, තමන් සිහින දකින වාහනය මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට හැකිවීමට අපට සතුටක්. මෙය අපගේ තිරසාරත්ව ක්රමෝපායට සමගාමීව සියලුම පාර්ශ්වකරුවන් වෙත සමාජ-ආර්ථික ප්රතිලාභ ලබාදෙමින්, ආර්ථික අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.”