රටේ ශ්‍රම බලකාය වෙනුවෙන් නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මුලස්ථානයේ පැවති ”මැයි දිනය ඇයි ” කතිකාව අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මහතා, ‘‘තමාගේ අයිතිවාසිකම් දිනා දෙයි කියා වැඩ කරන ජනතාව විශ්වාසය තැබූ සැබෑ නිර්ව්‍යාජ වම තමන් බව කියමින් නිර්ව්‍යාජ වම මරා දම් පාටින් පෙනී සිටිනන් මේ ශ්‍රම බලකායට වග කිව යුතුයි. රතු පාට අද ලා දම් පාට වෙලා. ඔවුන් ඉන්නෙත් කොළ පාට සමග. වම අද වමනය බවට පත් වෙලා. අද මේ රටේ වමක් නෑ. අපි සුදානම් නැවත මේ රටේ ශ්‍රම බලකාය වෙනුවෙන් නිර්ව්‍යාජ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මව්බිම ජනතා සේවක සංගමය අද මේ මැයි දිනයේදී අපි ආරම්භ කරනවා. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රටේ සුවහසක් ශ්‍රමික ජනතාවට සැබෑ ජිවන වෙනසක් උදෙසා අප සමග එක්වන ලෙස. නැතුව මේ දම්පාට පක්ෂ මේ රට තුන් වන ලෝකයෙන් අපායට ගෙන යන ව්‍යපෘති වලින් ඔබේ ජිවිතයට සාර්ථක කර ගන්නට ලැබෙන්නේ නැහැ. විදේශ මාධ්‍ය මේ රටේ ගොබ්බ මැයි දින රැලි ප්‍රචාරය කරද්දී ලෝකේ මිනිස්සුන්ට තේරෙයි මේක කොයිතරම් පසුගාමි බුද්ධිමත්භාවයෙන් තොර ,නිර්මාණශිලිත්වයෙන් තොර දේශපාලන දර්ශනයකින් තොර රටක් කියන එක. අපට එවැනි ව්‍යවසනයක් මේ රටට, රටේ ජනතාවට සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ දේශපාලන හැඩය, ජනතාවගේ ජිවන තවත්වය සතුටින් පිරි ජිවිතයක් බවට වෙනස් කරනවා කරනවාමයි.’‘ යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම කතිකාව සඳහා පක්ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, උප සභාපතිවරුන් වන අනුරාධා යහම්පත්, ජගත් පුෂ්පකුමාර ඇතුළු පක්ෂයේ විධායක සභිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකාය නියෝජනය කරමින් අභිමානවත් ශ්‍රම බලකාය ද සහභාගී වූහ.