ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වේගවත්ව සංවර්ධනය කිරීම සඳහා ඩීමෝ (DIMO) සමාගමේ බලශක්ති අංශය විසින් ‘EVO by DIMO’ නමින් නව විසඳුම් වේදිකාවක් හඳුන්වා දී තිබේ. කිලෝවොට් 11 සිට 360 දක්වා වූ පුළුල් පරාසයක ආරෝපණ ධාරිතාවන්ගෙන් යුත් මෙම වැඩසටහන හරහා ලොව පිළිගත් Siemens සන්නාමයේ වාණිජ විදුලි වාහන ආරෝපණ පද්ධති මෙරට වෙළඳපොළට හඳුන්වා දීම විශේෂත්වයකි. මෙමගින් මහා පරිමාණ විදුලි වාහන භාවිතය සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් මෙරට තුළ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කාර්යාල සංකීර්ණ, වෙළඳ මධ්‍යස්ථාන, හෝටල්, රෝහල් සහ පෞද්ගලික ආරෝපණ මධ්‍යස්ථාන වැනි ඉහළ ඉල්ලුමක් පවතින ස්ථාන සඳහා Siemens වාණිජ ආරෝපණ පද්ධති විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඉහළ කාර්යසාධනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු මෙම විසඳුම්, වාණිජ පරිශීලකයන්ට ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් තරඟකාරී මිල ගණන් යටතේ ස්ථාපනය කිරීමට අවස්ථාව ලබා දෙයි.
මීට අමතරව, EVO by DIMO හරහා ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ‘dual-gun AC 22kW’ වර්ගයේ ආරෝපණ පද්ධති හඳුන්වා දෙනු ලැබේ. IP65 වර්ගීකරණයෙන් යුතු මෙම පද්ධති මගින් එකවර වාහන දෙකක් ආරෝපණය කළ හැකි අතර, ලංකාවේ පවතින අධික ආර්ද්‍රතාවය සහ එළිමහන් පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් මේවා නිපදවා ඇත. මෙය හෝටල්, නිවාඩු නිකේතන සහ මාර්ග දෙපස පිහිටි ආරෝපණ මධ්‍යස්ථාන සඳහා ඉතා කාර්යක්ෂම සහ ඉඩකඩ ඉතිරි කරවන විසඳුමක් වනු ඇත.














