ලොව පුරා ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන Discord බදාදා (2026 මාර්තු 25) දින දරුණු බිඳවැටීමකට ලක් වූ අතර ඒ හේතුවෙන් දසදහස් සංඛ්‍යාත පරිශීලකයින් පිරිසකට එහි හඬ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට නොහැකි විය. Downdetector දත්ත වලට අනුව පස්වරු 3:00 (ET) ට පමණ වාර්තා වූ මෙම දෝෂය හේතුවෙන් 22,000කට අධික පිරිසක් පීඩාවට පත් වූ අතර එයින් 65%ක්ම හඬ පාලන පද්ධතියේ (Voice chat) දෝෂයන්ය. බොහෝ පරිශීලකයින් හඬ නාලිකාවලට සම්බන්ධ වීමට උත්සාහ කිරීමේදී දිගින් දිගටම ‘Awaiting Endpoint’ යන දෝෂ පණිවුඩය දිස්වී ඇති අතර එයින් අදහස් වන්නේ යෙදුම මගින් හඬ සේවාදායකය සමඟ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට අපොහොසත් වන බවයි. කෙසේ වෙතත් Discord තාක්ෂණික කණ්ඩායම පැය කිහිපයක මෙහෙයුමකින් පසු අදාළ දෝෂය හඳුනාගෙන මේ වන විට සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඔබ තවමත් මෙම දෝෂයට මුහුණ දෙන්නේ නම් එය විසඳා ගැනීමට ගත හැකි පියවර කිහිපයක් පවතී. ප්‍රථමයෙන් ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ඇති Discord යෙදුම සම්පූර්ණයෙන්ම වසා දමා නැවත විවෘත කිරීමෙන් (Restart) බොහෝ විට ගැටලුව විසඳාගත හැක. ඔබ සර්වර් ඇඩ්මින්වරයෙකු නම් සර්වර් සෙටින්ග්ස් හරහා ‘Voice Region’ වෙනත් ප්‍රදේශයකට වෙනස් කර නැවත උත්සාහ කිරීම තවත් සාර්ථක ක්‍රමයකි. මීට අමතරව ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කිරීම සඳහා රවුටරය ක්‍රියා විරහිත කර තත්පර 30කින් පසු නැවත පණගැන්වීම සුදුසුය. එසේම Discord හි නවතම සංස්කරණය ඔබ සතුව පවතින බව තහවුරු කරගැනීමට Windows පරිගණකයකදී ‘Ctrl + R’ එබීමෙන් යෙදුම යාවත්කාලීන කරගත හැක.














